2023-05-27 21:20:14
හයිපතීයා ශෝකාන්තය...
සාමාන්‍යයෙන් බුද්ධිමත් කාන්තාවන් ගැන ලෝක ඉතිහාසය පුරා වාර්තා දකින්න ලැබෙන්නේ ඉතා අඩුවෙන්. හයිපතියා කියන්නේ වාර්තා වෙල තියෙන එවැනි බුද්ධිමත් කාන්තාවක්.ක්‍රිස්තු වර්ෂ 350-370 ත් අතර කාලයේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ තියෝන් හට දාව හයිපතීයා නමි දැරිවිය උපත ලබනවා. පියාණන් මෙන්ම ගණිතයට,තාරකා විද්‍යාවට හා දර්ශනවාදය මැයත් කුඩාකල සිටම මහත් ඇලුම්කම් දක්වනවා.
ඇලෙක්සැන්ඩ්‍රියාව කියන්නේ ඒකාලේ වෙනකොට පෙර - අපරදෙදිග ලෝකයේ මහා දැනුම් ගබඩාවක්.යුරෝපයේ විශාලතම පුස්තකාලයේ පැවතියෙත් ඇලෙක්සැන්ඩ්‍රියාවේ. පසුකාලයේ මුස්ලිම් ආක්‍රමණ වලින් ක්‍රිස්තු වර්ෂ 642 විතර සම්පූර්ණයෙන් ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය විනාශ කරලා දනාව.මේ නිසාම විද්‍යාඥයන්,උගතුන්,බුද්ධිමතුන් හා චින්තකයින් විශාල ප්‍රමාණයක් ගැවසුන ප්‍රදේශයක් විදියට ඇලෙක්සැන්ද්රියව හඳුනාගන්න පුළුවන්.
ප්ලේටෝනිස්ට් පාසලෙන් තවදුරටත් අධ්‍යාපනය ලබා තාරක විද්‍යාව,ගණිතය,දර්ශනවාදය ආදිය ඉගෙන ගන්න කැමති අයට ඉගැන්වීම හයිපතීයාගේ කටයුත්ත වුණා. මැය විසින් ඇල්ජිබ්රා,ජියෝමෙට්රි ආදී ගණිත කොටස් වෙනුවෙන් දායකත්වය සපයා ඇති බව සඳහන් වුණත් අද වෙනකොට ඒ වාර්තා සොයාගැනීම ඉතාම අපහසුයි. බොහෝ දුරට විනාශ වෙලා.
හයිපතීයා අනුගමනය කළේ නියෝප්ලේටෝනිස්ට් දර්ශනවාදය. එක්තරා විදියකට මේක පේගන් දර්ශනවාදයක්. පෙගන් දර්ශන කියන්නේ ක්‍රිස්තියානි වගේ ආගමික අදහස් නිර්මාණය වීමට ප්‍රථම පුරාණ ග්‍රීසිය,රෝමය, ඊජිප්තුව ආදී මධ්‍යධරණී කලාපය මුල් කරගෙන පැවති දර්ශනවාදයන්.
(මෙතනදි පේගන් ආගම් හා පෙගන් දර්ශන එකක් කියලා පටලවා ගත යුතු නෑ.ඒ දෙක දෙකක්.)
සොක්රටීස් දර්ශනවාදය,ප්ලේටෝ දර්ශනවාදය, ඇරිස්ටෝටලියානු දර්ශනවාදය, හෙලනිස්ටික් දර්ශනවාදය වගේ ප්‍රධාන දර්ශනයන් අයත් වෙනවා. ජීවිතයේ යථාර්ථය, බුද්ධිය,ඥානය, යථාර්ථය යනු කුමක් ද වගේ දර්ශනානික සංකල්ප මෙහිදී සාකච්ජා වෙනවා.
හයිපතීයා අනුගමනය කළ නියෝප්ලෙටනිසිම් දර්ශනවාදය පවා කාලයත් එක්ක විවිධ අදහස් ආදිය එකතු වෙල විවිධ ආකාරයෙන් විග්රහ වෙනවා.
කොහොම වුනත් හයිපතීයා ජීවත් වූ කාලයේ ඇල්ක්සැන්ඩ්රියවේ ක්‍රිස්තියානු,යුදෙව් හා පේගන් පිරිස් අතර ආගමික හා දේශපාලන ගැටුම්කාරි වාතාවරණයක් තිබිලා තියෙනවා.ගැටුම්කාරි කියන්නේ අදහස්මය වශයෙන් බොහෝ වෙලාවට. මේ නිසාම පේගන් දර්ශන වාදය ඉගැන්වීම කරන හයිපතීය ක්‍රිස්තියානු පූජකයන්ගේ ටාගට් එකක් වෙලා තිබුණා.
ක්‍රිස්තු වර්ෂයෙන් 415 වසරේ දිනක හයිපතීයා තමනගේ කරත්තයට නැඟ නිවස බලා යමින් සිටියා. පීටර් නැමති ක්‍රිස්තියානු පූජකයෙක්ගේ මෙහෙයවීම පරිදි කලහකාරී පිරිස් යොදවා ඇයගේ කරත්තයට පහර දෙනවා.අනතුරුව ඇයව සිසේරියන් නැමති පේගන් ආගමික ස්ථානයට කරත්තයෙන් බිම දිගේ ඇදගෙන ඇවිත් නිර්වස්ත්‍ර කොට පහරි දී ඉතා අමානුෂික ලෙස ඝාතනය කරනවා.සිසේරියන් නැමති පේගන් ආරාමය පසුව ක්‍රිස්තියානු පල්ලියක් බවට හරවනවා. මැයගේ සිරුරේ සම ගැලවූ බවත් ඇතැම් තැන් වල සඳහන්.ඇයගේ මරණය මහත් සතුටින් සමරපු බවත් සඳහන් වෙනවා.එකෙන් අපිට පේන්නේ හයිපතීයගේ දර්ශනය සමාජයට මෙන්ම ක්‍රිස්තියානු ඕර්තඩොක්ස් ආගමික පද්ධතියට කරන ලද දැඩි බලපෑම.
හයිපතීයා ගැන සඳහන් මූලාශ්‍ර ඉතාම අවමයි. ක්‍රිස්තු වර්ෂ 10 වන සියවසේ ලියවුණු "Suda" කියන බයිසැන්ටියන් විශ්වකෝෂයේ හයිපතීය යනු ගණිතය,දර්ශනය සහ තාරකා විද්‍යාව ගැන උගත් කාන්තාවක් බවට බයෝග්‍රැෆි වාර්තාවක් සඳහන්ව තිබෙනවා.
Historia Ecclesiastica හෙවත් church history කියන වාර්තාවේ කොනස්ථන්තින්නොපලයේ සොක්රටීස් නැමැත්තෙක් 5 වන සියවසේදී මැයගේ ඝාතනය සහ ක්‍රිස්තියානු පසුබිම ගාන ලියූ බව සඳහන් වෙනවා. ( දාර්ශනික සොක්රටීස් නෙමේ)
හයිපතීය ගැන සඳහන් බොහෝ මූලාශ්‍ර ඇයගේ මරණයෙන් සියවස් කීපයකට පසුව ලියන ලද ඒව නිසා සමහර කරුණු කාරණා විවිධ ආය්ගේ දෘෂ්ටිකෝණයෙන් ලියන ලද ඒව. ඒ කොහොම වුණත් ඇල්ක්ෂන්ඩ්රියවේ හයිපතීයා කියන්නේ ගණිතය,තාරකා විද්‍යාව, දර්ශණය ගැන හසළ දැනුමක් තිබූ බුද්ධිමත් කාන්තාවක් බවයි පෙනෙන්නේ. ඇයගේ මරණය අපට පෙන්නුම් කරන්නේ තත්කාලීන පේගන් දර්ශනයන් හට ක්‍රිස්තියානු බලපෑම මගින් එල්ල වූ පීඩනය බවයි අප වටහා ගත යුත්තේ.
466 viewsHashini Weerasinghe ❍Å𝖑𝖕𝖍𝖆ⱽˢ❍, 18:20